Tuesday, December 10, 2013

රැය දිගු විය යුතු


තනිව මේපල් පතක් හිනැහෙයි
තුරක සිනහා දැවටෙයි
තරඟයට ආ හීත එලවන
පොඩි දුම් වළලු රැවටෙයි

අලුත් අහසක් දකිත් තුරු හිස
ළදරු අඳුරක සැඟවෙයි
තවත් තරු දල්වමින් රැයකට
සඳක් අහසින් බැස එයි

එකින් එක සිවි හරින සිහිනෙක
සතුටු සුණු විත් තැවරෙයි
මතක් කළ හැකි කවක් ඇවිදින්
අරුත් රහසින් කොඳුරයි

උණුම රොටි පලඟානකින් පැන
රතු මිරිස් සිනා ඉගිලෙයි
කඳු හිසින් වට කඳුළු බිඳකත්
මිහිරි රසයක් පැතිරෙයි

කුණාටුවටයි කඳු සිරසටයි
සහකාර මීදුමටයි
ඉතින් මේ අනුමෝදනාවයි
රැය ද දිගු විය යුතු මැ'යි!!!

Monday, June 27, 2011

ඇසළ කල මල


කෙහෙරැලින් දඟ පාන හස මලකි නෙත පැසුන
සොයමි විමසමි වමත එරන් රන් මුදු දසුන

සුරත මහ ඇඟිල්ලේ කැලැල නිති පිරිමැදුන

සවස සෙල්ලම් අහස කොහිද ඇය මත නිදන


නියත බව දැන දැනම කියන වග මේ වරුණ

සිහිව පින්සර එවත නිබඳ හද දුක රැඳුන

මගේ මේ අඬෝවැඩියාවෙන් තවත් දුක පුරන

කෙටවලේ දියවරම ඇගේ රූපෙන්
වැසුණ

කැහැටු කැස්වටු මුහුණ ළඟම හිඳ දුක අහන

තරව තදකර දෙ අත ඇගේ මුහුණට එබෙන

බලා ඉන්නට බැරිව සිහිව දුක ඔබ විඳින

සුරත ගුලි කරගතිමි කුරුටු ගැ හද හසුන


අහස තරමට නැතත් නිතර දියබත් වුවන

ඔබට පමණද උරුම ඇය සිනා වැසි පුරන

රිදුම් දෙයි හද නිබඳ එපස සිප එන පවන

මගේ දෙනෙතින් දකිමි ඔබ දැකිය යුතු දසුන

"මතකේ" මට වරක් ඔබ සිපගන්න ඕනා.....


එබී අර කවුළුවෙන්
විසුළු මූණක් පානා

බිඳිති පොඩි හිරිකඩ

හදට ගිනි සැර ගේනා


දාරළුව පසුකර

නපුරු නගරය පේනා

පොඩි කඩේ බංකුව

තාම පේවී ඉන්නා


එක්විය නොහැකියෙන්

සිල්පර කොටන් සේනා

දුර දුර තැබූ සටහන්

වෙන් වෙන් ලෙසින ගේනා


යකඩ නිල් ‍ බඳ මත

තාල
, ගී ,නෙතු හැපෙනා
"මතකේ" මට වරක්
ඔබ සිපගන්න ඕනා

උරුම


ආරිය ඡවි කළණ
සියුම් සුසුමින පවා ඇවිලෙන
,

මන්දිරේ දොර දොර

තබා නෙක කුසුමන් ද
සුසුවඳ
රන් එරන් රූ සිහි කර

සිහසුනේ හිඳ වෙණ හදාරන


අමු ම කළු සීහල

යදඬු තුඩකට පවා නොදැනෙන
,

ගසා එක මත එක

කසඩ පොල්කටු කැට කැබලි හැම

සොයා ඉසියුම් සත්සර

තැවෙන ඇවිලෙන නොලද අවසර


එ තම්මැන්නාවට

උමතු පසලොස්
සසඳ ආ සඳ
එතී එ වලා බඳ

පැතුවා නොව සක්විති සුව


කුවේණී පරපුර

බැඳුම් මිස හිමිකමක් නොලබන

කිසි කලෙක නොපතන

යකු උරුමයෙන් යකඩ සිත ලද

^^^^^චරියා^^^^^




රහසින්
ඉරට පෙර
පටලා අමුතු
කම්බා
ප්‍රියැති කව් විත්ති අසමින

යකාගේ බඩ කොළඹ යන


පැය අටක් හරියට

"ලොක්කා" කියන ලෙසටම
රැස් කර හොඳම පින

අපායේ තඩි තාප්පය බැඳ


දෙපැයක් ඉතිරියෙන්

තෙරපී තැලී පොඩිවි

පස්ස දිග යකා බඩ

පාං පෝරොණුවේ රෝස්වෙන


ලා ගත දල වතක්

බත් මවන චිමිනියට පිටුපා

කොට කොටා කවි කැට

ජාල පොළොවේ ඉන්දන

කෙටවල

නිලට රුවට අඩි තිය තිය සරැළි රටා මැද
කෙටවල කෝ කතා නැතිව පාන සිනා පොද
යස නිල් නිල් රටා දැමූ පොඩිති කුඹුරු මැද
හිමිදිරියෙ ම සිලි සිලියට සලා ය කෙහෙ රොද

නෝක්කාඩුවෙන් බැස ගති පෙරඹර සුදු සඳ
තිත් තිත් දුක පිණි විලසට දිය මත ලා බිඳ
නුදුටු නොකී නොඇසු දහක් විසිතුර හද බැඳ
පලා ගියා වෙද කොමළී ඒ පෙම්බර සඳ?

පතා සිටිය මුත් දිලෙනා තුරු හද බැමි බිඳ
දුවන් මුවන් මිස දෝතේ නෙලූ පලක් වෙද
සිඟිති කුසුම් මිසක පිපුණු සුසුදු වතින් කොඳ
පැතූ මහරු සියපත් රුව නැත දිලුනේ හද

ඉවුරුතලා දෙගොඩ තලා ගලනා දුක් කඳ
රිදුම් දි දී හැඟුම් බිඳී හද දිය විනිවිද
පායා අද රිදී තරුව මග එළි කළ සඳ
නිසැක වඩී නොබිඳි එඩී වඩවා රන් කඳ