Wednesday, February 9, 2011

-දහ අට සන්නි කම් වරුණ-



දඹදිව් තල සව්සිරි පිරි
ලිච්ඡවි රජ පදවිය නිසි
සංඛපාල නම් රජ තෙම
...නිරිඳෙකි එහි දන හද වැසි

සංඛපාල රජ මෙහෙසිය
පුත් කුමරකු වදනා දිසි
හද දොළදුක් විලස උපන
මියුරඹ පල බුදිනා රිසි

රුතියෙන් රජ බල විමසන
ගුණ බල පිරි අප රජ තෙම
මෙහෙසිය දොළ මඩිනා මෙන
මියුරඹ පළ ගෙන්වා දෙන

එවන් ම දොළදුක් වළඳන
රජවාසල දාස කතකි
බිසවට මෙන මියුරඹ පල
වළඳන දොළ හද කැළැඹෙති

මෙහෙසිය ඇය හද නාඳුන
රහසින් අඹ පල වළඳන
ඒ පලයට බඳිනා දොස
කෝපය වෛරයට හැරෙන

රජතෙම වෙත එලඹෙන්නී
කේලම් බස් බනවන්නී
නිරිඳුන් නොමදත් රහසක්
රස බසකින් තෙපලන්නී

මෙහෙසිය කුස වැද හෝනා
කලලය රජ ලෙය නොවනා
මහමැතිතෙම හා බැඳි පෙම
දරු කලලය ලෙස පේනා

නොසොයා එහි ඇත්ත නැත්ත
නොතෙමිද රජ හද කැනැත්ත
මෙහෙසිය ලය මතෙහි කැත්ත
පහර හෙලූ අරුම සත්ත

ගැබ්බර මෙහෙසිය සෝබර
බැල්මක් හෙලමින් පෙම්බර
රාජ තේජ තෙද බල බර
හිමි සඳ නෙතු රුදුරු දහර

විඳ විඳ කඳුලැල් ගංගා
නෙතඟට හස රැල් නංගා
අවසන් සුසුමක හංගා
පතිවත අහසට නැංගා

කැබැල්ල කඳ මත රූබර
මෙහෙසිය දේහය බන්දා
දෙපලු කරන්නට ඇ ගත
අණ කෙරුවා නරනින්දා

මල මෙහෙසි සිරුරට වැදෙන්නේ
ගැබෙහි මස් රස ගෙන බුදින්නේ
මහ සොහොන් යකු ලෙස වැඩෙන්නේ
වෛරි හදවත ගෙන වඩින්නේ

දහ අටක පිරිවරක් කැන්දා
විසාලා පුරවරට නින්දා
දෝස රෝබිය නිතින රන්දා
සොහොන් යකු එයි සන්නි බන්දා

දසත පතුරා සන්නි රෝ දොස
නොමිනිස්කම් පතුරුවන්නේ
දොරින් දොර මළබෙර හඬින් පිරි
අහේතුව දසතම මවන්නේ

කොර ද නාග ද ගොලු බීරි තව
මරු අමුක්කු ද නෙක සන්නි රුව
නසන මෙන් රජ පර පුරේ පව
කලෝ දහ අට සන්නි කම් තව

දසත කෙත්වතු පල බරව තව
අටු කොටද සරු සාර වෙන්ටයි
ලිච්ඡවී රජ පරපුරේ පව
දුරැර සැමදන සුව ය දෙන්ටයි

සන්නි දහ අට නේක රෝදොස
සත වෙතින් අතු ගා දමන්ටයි
ලියා තබනෙමි නේක පද මම
නිරෝගී දීඝායු වෙන්ටයි!!!

No comments:

Post a Comment