Wednesday, November 24, 2010

පෙම් වේලි


නොරැඳී මෙතන මෙහෙමම
ගලායන වග දැන නිසැකව
බැඳ පෙම් වේලි බාධා නොකරමි
ගලායන්නට නිසඟවම ඉඩ දෙමි

රජබරණ මිරිවැඩිද ලූ පයට
සුව දෙතත් සිහිලසක් කොයි වේද
මුදවමි  සියල්   ඉපැයු වත්කම්
මොහොතකට පමණි මේ පෙම්වත්කම්

දුර ඇඳෙන මුත් නඟ නඟා ගොස
ඔබය හද  පිපි විදිලි  එළි රැස
සඳ පහන් මුදු රැයෙක තව එක
නොදත්තා ලෙසට ඉමි ඔබ ළඟ

සියොලඟම නහවමින සිහිලසින්
පාව යන  වනමලක් ගෙන සෙමින්
පුද නොහැක පළිඟු චූඩා ලෙසින්
පළඳවමි කෙහෙ ජලේ හද පෙමින්

No comments:

Post a Comment